ගම් ඌරෝ

අපෙ පුතාට එයාගෙ විශ්වවිද්යාලේ යාළුවෝ දෙන්නෙක් එක්ක අපෙ ගමේ යන්න ආසයි කියලා මට කිව්වේ මාර්තු මාසේ මුලදී. මම මේකට පුදුම වුනේ නිලංත මීට ඉස්සර කවදාවත් එහෙම ආසාවක් තියෙනවා කියලා යන්තම්වත් හඟවලා නෑ.

“ගමේ ගිහින් මොනවා කරන්නද?”

“මොකවත් කරන්නම නෙවෙයි අප්පච්චී - නිකම් රට තොට බලන්න. මගෙ බැච් එකේ ජූඩ් ඊයේ මට කිව්වේ ඌ දැන් නුවර ඇවිත් අවුරුදු දෙකකට වැඩියි හැබැයි පේරාදෙනියයි, නුවර ටවුමයි ඇරුනුකොට අවට ගම් පලාත් එකකටවත් තවම ගිහින් නෑ කියලා. හන්තාන නැග්ගට තවම ගමක ගෙදරකට ගිහින් නැතිලු”

“ඔය ළමයි කොහෙ කට්ටියද?”

“ජූඩ් ජාඇල, ආරි මොරටුවේ”

“ජා ඇල නම් කතෝලික වෙන්න ඇති. ආරි කිව්වේ?”

“ආරියදාස - මං හිතන්නේ තද බෞද්ධයෙක් වගේම මාර වාමාංශිකයෙක්; අර ට්රොට්ස්කි පිලේ. ඒක ප්රශ්නයක් වෙයිද ලොකු අත්තලත් එක්ක?”

“අපෝ නෑ - මං ඇහුවේ අබේ මාමලෑ ගෙදර යනවානම් ඒ අයට ඉස්සරවෙලා කියලා තියෙන එක හොඳ නිසා”

“ලොකු අත්තගෙන් ඇහුවොත් හා කියයිද අපි තුන්දෙනෙක් ගිහින් රෑ එහෙ ඉන්න? මං හිතන්නේ ජූඩ් ලඟ ස්ලීපින් බෑග් එකකුත් තියෙනවා, ඕනනම්”

“නිදාගන්න නම් ඕන තරම් ඉඩ තියෙනවා - කොට්ට ශීට් වලිනුත් අඩුවක් නෑ. නිලංත අංතිමට ගමේ ගියේ කොයි කාලෙද?”

කමලා මෙහෙම ඇහුවේ අපිට තේ වක්කරන ගමන්.

“දැන් අවුරුද්දකට කිට්ටුයි. ගිය අවුරුද්දේ අවුරුද්දට ගියාට පස්සේ”

“හ්ම්… ලොකුඅත්තට කතා කරලා ඉන්න, යාළුවන්ට කියන්න ඉස්සර”

“අප්පච්චිට පුළුවන්ද අහන්න?... මං කවදාවත් ලොකුඅත්තට ටෙලිෆෝන් කරලා නෑ!”

“එහෙනම් දැන් පටන්ගන්න කාලේ…. අබේ මාමා හොඳටම කැමතිවෙයි!”

……………………..

නිලංතගෙ ටෙලිෆෝන් ඉල්ලීම හිතුවටත් වඩා හොඳට වැඩකරා. පහල කුඹුරේ කොළමඩින දවස තව සති දෙකකින් යෙදෙන නිසා පුතාටත් යාළුවෝ දෙන්නටත් එදාට එන්න අබේ මාමගෙන් ආරාදනේ ලැබුනා. අබේ මාමා මටත් එදාට එන්න කිව්වත් මම හිතුවේ මගේ පැමිණීම නිලංතටත් එයාගෙ යාළුවන්ටත් කරදරයක් මිස උදව්වක් නොවෙයි කියලා. සුනිල් අයියත් ඉන්න නිසා මම නොහිටියට කිසි ප්රශ්නයක් නොවෙයි කියලා මම මාමට කිව්වා. අයියටත් කතා කරලා මම කිව්වේ කොල්ලෝ තුන්දෙනාට බීර ටිකක්, රා කට්ටක් එහෙම දුන්නට කමක් නෑ හැබැයි අරක්කු එහෙම දෙන්න එපා කියලා. මම පුතා බොන එක ගැන කමලට කියලා තිබුනේ “දන්න තැනක, සුපවිශන් ඇතුව බොන එක හොඳයි හොරෙන් ගමේ කසිප්පු සොයාගෙන බොනවට වැඩිය” කියලා.

යාළුවෝ තුන්දෙනාඅ කාර් එකේ ගිහින් දාන්න කමලා ගෙනා යෝජනාවට නිලංත බෑ කිව්වා.

“අපරාදේ අප්පච්චී එන්නේ එදාම ආපහු එන්න. අනික, අපි ගමේ මිනිස්සු යන විදිහට බස් එකේ යන එක හොඳයි කියලා ආරි කිව්වේ”

“පරෙස්සමෙන් එහෙනං”

මම කමලට පස්සේ කිව්වේ සමහරවිට කොල්ලෝ තුන්දෙනා හොරෙන් බීර සිගරට් එහෙම බොන්න යන නිසා වැඩිහිටියෝ නැති එක හොඳයි කියලා. කොහොමට හරි එදා උදේ මම අබේ මාමට ටෙලිෆෝන් කරලා කිව්වා දවල් කෑමට කොල්ලෝ තුන්දෙනා එනබව. මාමා කිව්වේ “ලොක්කා ඔය තුන්දෙනා බලා ගනියි - එයා කවදාවත් කොළදිමකට උදව් කරලා තියෙන එකක් යෑ!”

……………………….

නිලංත ගමේ ගිහින් ගෙදර ආවේ පහුවදා හවසයි. කොළදිම දවසේ රෑ හොඳටම නිදි මැරූ නිසා පහුවදා දවසේ වෑඩි හරියක් නින්දෙන් ගතවෙලා තියෙන්නේ. ගෙදර එනකොට තවමත් හොඳටම නිදිමත ගතිය පෙනෙන්න තිබුනා.

“කොහොමද කුඹුරු වැඩ? යාළුවෝ කෝ?”

“උන් දෙන්නා බස් එකෙන් බැහැලා කෙලින්ම බෝඩිමට ගියා. තවම නිදිමතයි කියලා”

“ඒ අය මොකද හිතුවේ අපෙ ගම ගැන? කොළදිම ගැන?”

“හොඳයි…. වරදක් නෑ…. මටත් තවම හරියට නිදිමතයි…. අම්මා මට රෑ කෑමට ඇහරවන්න එපා ඈ…”

මෙහෙම කියලා පුතා කාමරේට ගියා. කමලයි මමයි මූනෙන් මූන බලාගත්තා.

“එක්කෝ හොඳටම නිදිමතයි… නැත්තම් යාළුවොත් එක්ක හරි මාමලා එක්ක හරි මොකක් හරි අප්සෙට් එකක්ද දන්නෙ නෑ”

“මාමලා එක්ක එහෙම වෙන්නෙ නෑ. ඔයාගෙ මාමයි නැන්දයි හොඳට සලකන්න ඇති දරුවෝ තුන්දෙනාට! දන්නවානේ ඒ අයගෙ හැටි”

“මං අයියට කෝල් එකක් දීලා බලන්නද?”

“ම්… දැන්ම එපා. අපි බලමු හෙට උදේ නිලංත කොහොමද කියලා. හෙටවත් අහගන්න බලමු මොනවත් උනාද නැද්ද කියලා. ඇත්තටම කියනවානම් නිදිමත නිසාම වෙන්නත් පුළුවන් කතාව අඩු”

“හ්ම්..”

නමුත් නිලංත උදේ නැගිටලා ගියේ මම ඇඳෙන් නැගිටින්නත් ඉස්සර. වෙනදා දවල් වෙනකම් ඇඳේ ඉන්න කැමති මිනිහා අද අපිටත් කලින් නැගිටලා ගිහින්.

දවල් දහයට විතර මම සුනිල් අයියට ටෙලිෆෝන් කරා.

“හා… මලයට මං කතා කරන්න හිටියේ තව ටිකකින්…”

“මොකද අයියා? හදිස්සියක්ද?”

“නෑ… මට ගාල්ලේ යන්න වෙලා - අර ගෙදර විකුනන වැඩේට… මට අද රෑ ඔහෙ ඉන්න පුළුවන්ද, හෙට උදේ පහේ කෝච්චියේ ගාල්ලේ යන්න?”

“ඕක අහන්නත් දෙයක් යෑ… කොහොමද කොළදිම? අපෙ කොල්ලෝ කරදරයක් උනාද?”

“අනේ නෑ…. කිසි කරදරයක් නෑ. අම්මටයි අප්පච්චිටයි උන් හොඳට හිතට අල්ලලා - හරි හැදිච්ච කොල්ලෝ කියලා!”

“ඒක හොඳයි. මං ඇහුවේ පුතා හොඳටම නිදිමතේ ආවේ - මට කිසි දෙයක් අහගන්න -බැරිවුනා - මොනවද කරේ කියලාවත්”

“යාළුවන්ට වගේම නිලංතටත් ගම අළුත්! ටික්කත් එක්ක වල් ඌරෝ බලන්නත් ගියා කමතේ වැඩ පටන්ගන්න ඉස්සර”

“අපි ආපුහම කතාකරගමුකෝ… මාමා එහෙම හොදින් ඉන්නවා?”

“ඉසෙන් බහින රෝගයක් නෑ - ටිකක් කොළදිමේ මහන්සිය විතරයි”

…………………….

සුනිලයියා ආවේ ගෙදරින් වැලිතලප පුරවපු බිස්කට් ටින් එකකුත් අරගෙනයි - නැන්දා දන්නවා මම වැලිතලප වලට කොයිතරම් ආසද කියලා.

“නැන්දා බුදුවෙන්න ඕනෑ මේ කල පුන්ය ක්රියාවට” මම කිව්වේ අපි හවස තේ බොන ගමන්. දුවත් එකතුවුනා ඒ කතාවට.

“ඇයි අපෙ අම්මට බැරි මේවා හදන්න… මේ වගේ රසට?”

“ඕවා සූප සාස්ත්ර පොත් කියවලා බෑ - අත් ගුනේ තියෙන්න ඕනෑ”

“අර අප්පච්චිට එළවලු වවන්න බෑ වගේද?”

“හඃ! මගෙ පාත්තියේ බෝංචි තමා ඊයෙත් කෑවේ”

“ඒවා නිසා වෙන්න ඇති අයියා රෑට කෑවෙත් නැත්තේ - අයියා අදත් පරක්කුයි වගේ”

“දැන් ඉතින් අයියා පොඩි එකෙක් යෑ?”

කමලා මෙහෙම කිව්වට හිතේ මොනවදෝ කැරකෙනවා කියලා මුහුනෙන් පෙනෙනවා.

“දුව බලන්න ලොකු අප්පච්චිගෙ කාමරේ කොට්ට එහෙම තියෙනවද කියලා”

“ඔවු වැදගත් දේ කතා කරනකොට පොඩිවුන් ලඟ ඉන්න හොඳනෑ නේ”

දුව මෙහෙම කියලා කාමරෙන් එලියට ගියේ හිනා වෙවී. නමුත් අපෙ හිතේ මොකක්හරි තියෙනවා කියලා දුවටත් තේරිලා වගේ.

“හැබෑට අයියා මොනවත් උනාද කොළදිමට ගිහින්? නිලංතගෙ හිතේ මොකද්දෝ වැඩකරනවා වගේ. නිදිමතයි කියලා නොකා ඉන්න එකවත් උදේ පාන්දර නැගිටලා යුනිවසිටි යන එකවත් නෝමල් නෑ. වැඩිය කතා නැති එක - කාලෙකට පස්සේ ගමේ ඉහින් ඇවිල්ලත්…. එහෙදී වැඩිය මොනවත් පෙවුනද? මං කියන්නේ නරක රා වගයක් එහෙම?”

“ඔයා දන්නවානේ මම නම් ඔය ළමයින්ට බොන්න දෙන එකට කැමති නෑ කියලා”

“නංගී බයවෙන්න එපා - බොහෝම පොඩ්ඩයි බිව්වේ. ආරි කියන කොල්ලා බොන්නෙම නෑ. ජූඩ් කියන එකා බිව්වට මිනිහගෙ හිත වැඩියම තිබුනේ ගමේ මිනිස්සුත් එක්ක කතා කරන එකේ - මං හිතන්නේ මිනිහා සමාජ විද්යාවට ආසයි, ඉගෙනගන්නේ මොකවුනත්. නිලංත මං හිතන්නේ බිව්වේ මම දීපු නිසා - පුතාට ඕනවුනේ අපෙ අප්පච්චියි අම්මයි එක්ක පොඩිකාලේ ගැන අහගන්න. ඒකත් හරියට වුනේ නෑ මං හිතන්නේ අම්මයි අප්පච්චියි බිසි නිසා - සමහරවිට වෙලාවක ආයෙත් ගමේ එයි කතා කර කර ඉන්න”

“කොච්චර හොඳද?” කමලට හිතට හොඳයි. සුනිල් අයියා ආයෙත් කතා කරන්න පටන් ගත්තා.

“මොනවාහරි දෙයක් වුනානම් වෙන්න ඇත්තේ කමතේ වැඩ ඉවරවුනාට පස්සේ - රෑ එකට දෙකට විතර තමා තුන්දෙනා ගෙදර ආවේ. මම එතකොට තවම ඇහැරලා - බෝතලේ තිබුන තේ තුන්දෙනාටම වක්කරලා දීලා අපි එලියේ වාඩිවෙලා හිටියා විනාඩි දහයක් විතර නිදාගන්න ඉස්සර. ඒ වෙලාවේ හැබැයි මට හිතුනා තුන්දෙනාම සෑහෙන්න නිශබ්දයි කියලා. ඒ වෙලාවේ ඒකට හේතු බේතු දිගදුරට හොයලා බලන්න නොහිතුනාට මලයයි නංගියි කියනකොට දැන් හිතෙන්නේ සමහරවිට ජූඩුයි ආරියි හරියට තරහවෙලා වගේ හිටියේ. නිලංත තාච්චී වගේ දෙන්නටම කතා කරේ…. හ්ම්…. ඒ වෙලාවේ ඕක මට ගානක් ගියෙ නෑ”

“මොකක් හරි යුනිවසිටි හුට පටයක්ද දන්නෙ නෑ”

“මං හිතන්නෙ නෑ. එහෙනම් තුන්දෙනා එකට ගමේ එන්නෙත් නැතිවෙයිනේ. අනික ඒ වගේ පරන පලහිලව්වක් නම් ගමේදී ඒක මතුවෙන්න විදිහක් නෑ - මොකද යුනිවසිටි වත් පාඨමාලා ගැනවත් කතා කරන්න ඒ අයට වෙලාවක් නෑ, කොළදිම් වැඩ නිසා”

“කමතේ හරි එහෙ ඉඳන් ගෙදර එන වෙලාවේ හරි මොනවද අප්පා වෙන්න පුළුවන්? මේක යුද්ද කාලේ වගේ නෙවෙයිනේ!”

“ඒක පුතාගෙන්ම තමා අහගන්න වෙන්නේ”

අපි එතනින් කතාව වෙන අතකට හැරෙව්වේ සිරිනී අපිට ඇහෙන විදිහට හයියෙන් සිංදුවක් කියාගෙන එන සද්දේ ඇහුනට පස්සෙයි. නිලංතට කරදරයක් නම් ඒක සිරිනිටත් කියන්න මම තීරනේ කරගත්තේ ඒ වෙලාවේ.

………………….

“නිලංතගෙ යාළුවෝ මොකක් හරි ගැන අමනාප වෙලාද?”

මම කෙලින්ම පුතාගෙන් මෙහෙම ඇහුවේ රෑ කෑමට පස්සේ අපි සේරම කෑම මේසෙන් නැගිටින්න ඉස්සරයි. අහන්න තියන දෙයක් කෙලින්ම අහන්න කියලා මමම දරුවන්ට කියලා තියෙන නිසයි වටින් ගොඩින් නොඇවිත් කෙලින්ම ප්රශ්නේ ඇහුවේ. පුතා ඉස්සරවෙලාම බැලුවේ සුනිල් අයියා දිහා.

“ඇයි එහෙම ඇහුවේ?”

“ඊයේ ගෙදර ආවට තවම අපිට හරියට වචනයක් කතාකරගන්න බැරිවුනා. අපි හිතුවේ යාළුවොත් එක්ක ගමේ ගිහින් ආවට පස්සේ කියන්න දේ හුඟාක් ඇති කියලා. අඩුම ගානේ යාළුවෝ විනෝදවුනාද, කමතේ ඉඳන් මුත්තෙට්ටු කෑවද, කෑම ගැන යාළුවෝ කිව්වේ මොනවද…. මේ කිසි දෙයක් නොකියා අද උදේම ගිහින් රෑ කෑම වෙලාවේ ආවේ… “

“මම ආරියි ජූඩුයි හම්බුවෙන්න තමා උදේම ගියේ - ජූඩ් උදේම ජාඇල යනවා කියපු නිසා. ලොකුඅප්පච්චී කියන්න ඇතිනේ දෙන්නා ටිකක් නොරොක්වෙලා හිටියේ කියලා”

“නෑ පුතා - මං කිව්වේ තුන්දෙනා වැඩිය කතා කරේ නෑ කියලා කමතේ ඉඳන් ආවට පස්සේ. මලයයි නංගියි මගෙන් ඇහුවා මොකවත් කරදරයක් වෙලාද කියලා. එතකොටයි මට මතක්වුනේ දෙන්නා සද්ද නැතුව හිටපු හැටි - ඒක තරහකට වුන දෙයක්ද කියලා මම දැනගෙන හිටියෙ නෑ”

නිලංත පලවෙනි සැරේට හිනා වුනා.

“අනේ ලොකුඅප්පච්චී ලොකුඅත්තලත් මොනවත් හිතුවද දන්නෙ නෑ මුං දෙන්නගෙ ගෝරිය නිසා”

“නෑ…නෑ… අම්මයි අප්පච්චියි හිතුවේ පුරුදු නැතුව නිදිමරලා, පිනිබාලා උන හදාගනද කියලා. අපරාදේ තව රැයක් දෙකක් හිටියෙ නැත්තේ කියලත් කිව්වා”

“මං යනවා ආයෙත් එන සුමානේ දිහාට - මම විතරක්. නියමයිනේ අප්පච්චී අපෙ ගම!”

“ඔවු… මාමලා නැන්දලාට පින් සිද්ද වෙන්න!... මොකද ගිය ගෝරිය?”

නිලංත මොකවත් කියන්න ඉස්සර මේසේ වටේටම බැලුවා.

“මං හිතන්නේ ගෝරිය පටන්ගත්තේ හවස් වරුවේ ටිකිරිබංඩත් එක්ක වල් ඌරෝ බලන්න ගිය වෙලාවේ”

අපි ගෙදරින් පිටත්වුනේ කරුවල වේගන එනකොට [නිලංත කතාව පටන්ගත්තා]. අර එගොඩ හේන කියන ඉඩමට ඌරෝ එනවා කියලා ටික්කා කියපු නිසා අපි එහාට ගියේ. එහෙ අර ලොකු පැතලි ගල්පොත්ත උඩ වාඩි වෙලා අපි වැඩිය සද්දෙට කතා නොකර මයියොක්කා පඳුරු වැවිලා තිබුන කෑල්ල දිහා බලාගන හිටියා. වැඩි වෙලාවක් ගියෙ නෑ - ලොකු ඌරෙකුයි පොඩිඋන් තුන්දෙනෙක්යි! මං තකොටයි ඉස්සරවෙලාම වල් ඌරෙක් දැක්කේ. ආරි එහෙමත් වල් ඌරෝ ගැන අහලා තියෙනවා මිස දැකලා නැතිලු. එතකොට තමා ජූඩ් ඉස්සරවෙලාම ඔය ගෝරිය පටන්ගන්න මුල්වුන කතාව කිව්වේ.

“ලොකු එකාට වැඩක් දුන්නොත් මාසයක් කන්න පුළුවන් - ටිකිරිබංඩා මෙහෙ තුවක්කු නැද්ද?”

ආරිට තරහ ගියා.

“උඹ සීරියස් නේද? බලපන් උන් පවුලම ජොලියේ ඉන්න හැටි. පව් නැද්ද බං උන් මරන්ට හිතුවත්?”

“මිනිස්සු වවන දේ වනසන එකා පූලකයෙක් - උඹට තේරෙන විදිහට ඉංගිරිසියෙන් කිව්වොත් ‘ව(ර්)මින්’. ඌට වෙඩි තියලා උගේ මසුත් පාවිච්චියට අරගෙන වවන බෝගත් රැකගන්නවානම් දෙපැත්තෙන්ම වාසි!”

“නිදැල්ලේ ඉන්න සතෙක් මරන එක වැරදි කියලා උඹට හිතෙන්නෙ නැද්ද?”

“මම දන්නවා ආරි බුද්ධාගම අනුව ඒක පව් කියලා. නමුත් මම වෙන ආගමක නේ?”

“ජූඩ් මම කියන්නේ ආගමක් ගැන නෙවෙයි - සතෙකුට හිංසා කරන එක ගැන. උඹ කැමති නෑ නේ උඹට කවුරුවත් ඔය විදිහට සලකනවට”

මම ඒ වෙලාවේ හිතුනා මේක දුරදිග යනවා වැඩී කියලා.

“මේ - උඹලා දෙන්නා ආගම පැත්තක තියපන් දැනට. අපි කමතට ගිහින් බලමු එතන වැඩ පටන්ගෙනද කියලා”

ටික්කා එතකොට කිව්වා “දැම්ම ගියොත් පොඩිමහත්තුරුන්ට බලන්ට පුළුවන් මීහරක් ඈඳනවා” කියලා.

“අපි යං. හැබැයි එකක් කියන්නම් ජූඩ්. සතෙක් දකින හැම වෙලාවෙම ඌ මරලා කන එක ගැන හිතන එකත් නරකයි”

“මොකද මට සත්තු ඇවිත් ගහයිද? උඹට පිස්සු බං ආරි!”

“උඹලා දෙන්නම කට වහගෙන වරෙල්ලා යන්න අපි බලන්න ආපු එක බල්ලන්න!”

මං එහෙම කියලා ටික්කත් එක්ක පිටත්වුනාම උන් දෙන්නත් පස්සෙන් ආවා. ඊට පස්සේ කමතේ අපි පැය හය හතක් හිටියා. මුත්තෙට්ටු කාලා, කීප සැරයක් තේ බීලා… ආරියි ජූඩුයි අතර කිසිම අප්සෙට් එකක් නෑ. ආරි ෆෝන් එකෙන් පින්තූර ගන්නවා - ජූඩ් කමතේ හිටපු සේරමත් එක්ක කතා කරනවා, ජීවිතේ ගැන. මට දැනුනෙ නෑ කිසිම වාද බේදයක් තියෙනවා කියලා…. කරදරේ පටන්ගත්තේ අපි ගෙදර එන්න පිටත්වුන වෙලාවේ.

ටික්කා එතකොට ගෙදර ගිහින්. බොහොම කට්ටිය වැඩේ ඉවරයි කියලා ගෙදර ගිහින්. බැත රකින මිනිස්සුයි තව වයසක මිනිහෙකුයි පරන කතා කිය කියා හිටියා. අපි තුන්දෙනා ටික්කා දීලා ගිය ටෝච් එකත් අරගෙන ගෙදර එන්න පිටත්වුනා.

අපි ගමනෙන් කාලක්වත් ගියෙ නෑ - ජූඩ් හිටපු ගමන් නැවතුනා.

“ආන්… දැක්කද අර ඌරගෙ සයිස් එක? අර කොස් ගහ ලඟ”

ආරියි මමයි බැලුවා, ටෝච් එක ගහලා.

“කෝ? කොහෙද?”

“අර එහා කොස් ගහ ලඟ - අර ගලට උඩින් ඔළුව පෙනෙන්නේ …ආන්… දැන් ඌ ගල උඩට නැංගා!”

කොච්චර බැලුවත් ආරිටයි මටයි ඌරා දැකගන්න බැරිවුනා.

“උඹට හොල්මන් පේනවා!”

“උඹලා දෙන්නා පොට්ටයෝ! අර බලපන් උගෙ සයිස් එක - කොස් ගහට හේත්තු වෙලා ඉන්නේ”

මට ඇත්තටම බය හිතුනා. ඒක්කෝ ජූඩ් අපිව ගොනාට අන්දවන්න හදනවා … නැත්තන්ම් අපිට මෙතන් ලොකූ ප්රශ්නයක් තියෙනවා.

“ඌට බම්බුගහගන්න කියලා අපි යමු - වෙලා ගියා!”

ආරිට කට වහගන්න බෑ.

“උඹ ඉස්සර කාලේ මරපු ඌරෙකුගෙ හොල්මනක් වෙන්න ඇති!”

“ආරි!”

ජූඩ් කිසි දෙයක් කීව්වෙ නෑ ආරිට. මා දිහා බැලුවේ හරිම බැගෑපත් විදිහට. කතා කරේ බොහෝම හිමින්.

“නිලංත … මචං උඹට පේනවද ඌරා කොස් ගහේ නගිනවා.?...?”

මම ජූඩ් අතින් අල්ලාගෙන ගෙදර එක්ක ආවේ. ආරිටත් තේරුනා ජූඩ්ට ප්රශ්නයක් කියලා. මං බලාපොරොත්තු වුනේ ජූඩ්ව කෙලින්ම ඇඳට දාන්න නමුත් ලොකුඅප්පච්චී ඇහරලා හිටියා. අපි බොහොම අමාරුවෙන් හිටියේ තේ එක ඉවරවෙනකන්…සොරි ලොකුඅප්පච්චී..

………………

නිලංත කතාව ඉවර කරලා ලොකූ හුස්මක් ඇරියා, ලොකු බරක් ඔලුවෙන් අයින් කෙරුවා වගේ. ඉස්සරවෙලාම කතා කරේ සුනිල් අයියා.

“මමයි සොරි කියන්න ඕනෑ පුතා! මට නිදාගන්න තිබුනා පුතාල එන්න ඉස්සර. මගෙ පරන පුරුද්දක් පුතා - සේරම හිංසාවක් නැතුව ගෙදර එනතුරු නින්ද යන්නෙ නෑ… මගෙ කොල්ලෝ පොඩි කාලේ ඉඳන්…”

සිරිනී ඊලඟට ප්රශ්නයක් ඇහුවේ වාතාවරනය සැහැල්ලු කරන්න - මං හිතන්නේ දැන දැනම.

“ඌරා කොස් ගහේ නැගලා ඉගිලුනාද?”

“තෑන්ක්යූ ඉබ්බී - උඹ ඇහුවොත් අහන්නේ එහෙම ගොං දෙයක් නේ”

“අද උදේ ගියේ ජූඩ්ට මොකද කියලා බලන්නද?”

“ඔවු අම්මා - මං හිතන්නේ ජූඩ් හොඳටම අප්සෙට්. මමයි කිව්වේ ගෙදර ගිහින් ඒයාගෙ පූජකයා හම්බුවෙන්න කියලා. හැබැයි අදහස ආරිගෙ. මම ජූඩ්ගෙ ගෙදර යනකොට ආරිත් එහෙ - ජූඩ්ට කොහොමද බලන්න ඇවිත්. ජූඩ්ගෙ බෑග් එකත් පැක් කෙරුවේ ආරි - ආයෙත් හොඳම යාළුවෝ වගේ… ආරිත් දන්නෙ නෑ ජූඩ්ට මොකද වුනේ - මොනවද දැක්කේ කියලා. මම දන්නෙත් නෑ!”

…………………….

සුනිල් අයියා මං දිහා බැලුවේ හිනා මුහුනින්. අපි දෙන්නම දන්නවා කවුද ගස් නගින ඌරා කියලා.

“මලයා අපෙ ගෙදර ගිහින් එන්න පුළුවන්ද අද හෙටම? මම ගාල්ලේ යන නිසා අම්මටයි අප්පච්චිටයි දැන් පාළුයි. පුළුවන්නම් අප්පුහාමිත් හම්බුවෙන්න බලන්න”